Friday, September 14, 2018

ශිල්ප ගොදුර

ශිල්ප ගොදුර

"සපුමල්...විභාගෙ හොදට පාස් වුනොත් සපුමල්ට පුලුවන් ටවුමෙ ලොකු ඉස්කෝලෙට යන්න..ආණ්ඩුවෙන් වියදමට සල්ලිත් දෙනව..හොද ලකුණු තිබ්බොත් මාත් තෑගි අරන් දෙනව  සපුමල්ට.."

ඉස්කෝලෙ ලොකු ටීච එහෙම කිව්වම මගේ ඉහේ මලක් පිපුන වගේ.මං ආසයි
අරවින්ද බේබිලා වගේ ටවුමෙ ඉස්කෝලෙට යන්න.අනික ඉගෙන ගන්න සල්ලිත් දෙනව නම් අම්ම දලු කඩල හම්බ කරන සල්ලි වලින් අපිට කන්න බොන්න වියදමට ඇතිනෙ.එතකොට කලු මුදලාලින්ගෙන් අම්මට බැනුම් අහන්නත් ඕන නෑ ණය ගෙවන්න කියලා...

"...මං පාඩම් කරනව ලොකු ටීච...
ලොකු ටීච දීපු පේපර්වල වැඩත් ගෙදරදි කරනව මං...."

"..බොහොම හොදයි සපුමල්...මං තව වැඩ පොත් ටිකක් ගෙනත් දෙන්නම්කො සපුමල්ට..හොදට පාඩම් කරන්න ඕනෑ..."

"හොදයි ලොකු ටීච...

ඉස්සර නම් ලොකු ටීච හරිම නපුරුයි වගේ.හැම තිස්සේම මටයි මගෙ යාලුවන්ටයි බනිනව.එයාගෙ පුතා ඉන්නෙත් අපේ පන්තියෙමයි.එයාගෙ නම තමයි ගයාන්.ගයාන් කරන්නෙම දඟ වැඩ.ඒත් ටීච කවදාවත් එයාට ගහන්නෙත් නෑ.බනින්නෙත් නෑ.ලොකු ටීච බනින්නෙත් නෑ.දැන් නම් ලොකු ටීච මට බනින්නෙ නෑ.හරිම ආදරෙයි.මට පොත් පත්තර ගෙනත් දෙනවා.මං පන්තියේ හොදට වැඩ කරන නිසා වෙන්නැති....

මං මුලින්ම පන්තියේ වැඩි ලකුණු ගත්ත දවසෙ ලොකු ටීච අපේ පන්තියට දුවගෙන ආවෙ මගෙ දිහා රවල බලාගෙන.එදා ඉදල මාව අන්තිම පේලියට දාන්න කියල ලොකු ටීච අපේ ටීචට කිව්ව.
"...ගයාන්ගෙ ලකුණු මෙච්චර අඩු වුනේ කොහොමද ටීච..."
ලොකු ටීච අපේ ටීච දිහත් රවල බලන ගමන් එහෙම ඇහුව මට මතකයි.

හැමදාම ගයාන්ගෙ ලකුණු අඩුයි.මම තමයි හැමදාම වැඩිම ලකුණු.ඒ නිසා ලොකු ටීච මට දැන්  ආදරෙයි.දවසක් අපේ ගෙදර ආපු ලොකු ටීච මට පොත් පැන්සල් ගොඩක් දීල මගේ ඔලුව අතගෑවෙ සපුමල් පුතේ කියල.අම්මටත් කිව්ව කොලුව හොදට උනන්දු කරවන්න කියල.
"....ඌ හැන්දෑවට පොත් පෙරලගෙනමයි ලොකු ටීච.ලොකු නෝනට පින් සිද්ද වෙන්න දීපු පොත්වල ඌ හරි ආසාවෙන් වැඩ කරනව.."

"....ඒක බොහොම හොදයි.සපුමල් හොද දක්ෂයෙක්.බැරි දෙයක් අහගන්න තියෙනව නම් හවසට අපේ ගෙදරට එවන්න.මට පුලුවන් පැයක් විතර උගන්නන්න..."

" ...අනේ නෝනට පින් සිද්ද වෙනව.මොකෝ මං හිටියට අකුරක්වත් කියාදෙන්න දන්නෙකක්යැ..."

"...ඒක තමයි.ළමයව කොහොම හරි උනන්දු කරවල විභාගෙ පාස් කරවන්න ඕනෑ.මං උදවු කරන්නම්කො.මං ගිහින් එන්නම් සපුමල්ගෙ අම්මෙ..."

'"..හොදයි ලොකු නෝනා.කොලුවො වැදපන් ලොකු නෝනට..."

මං එදා ලොකු ටීචට වැන්දෙ හරිම සතුටින්.මේ වගේ අලුත් පොත් ගන්න අපිට සල්ලි නෑ.ලොකු ටීච හින්ද තමයි මේව දකින්න හරි ලැබුනෙ.මං අද ඉදන් සෙල්ලම් කරනෙකත් අඩු කරල මේ පොත්වල වැඩ කරනව.අම්මේ අලුත් පොත් පෙරලද්දි එන සුවද.මං ඒ සුවදට හරිම ආසයි.

"...කොලුවො.බලපං උබ හරි පින්කාරයි.ලොකු නෝන එහෙම ලේසියකින් හිත උණුවෙන කෙනෙක් නෙමෙයි.ඒ උනාට උබට හරිම ආදරෙයි.උබ හොදට විභාගෙ පාස් උනොත් ලොකු නෝන උබට තව හොදට සලකයි.මටත් ඕන උබ හොද ලොකු මහත්තයෙක් වෙනව දකින්න..."

"...මං හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරනව..ඊට පස්සෙ අම්මට වත්තෙ වැඩට යන්න දෙන්නෙ නෑ.මුදලාලිගෙ කඩෙන් ණයට බඩු ගන්න දෙන්නෙත් නෑ..මං එතකොට ලොකු ටීචටත් තෑග්ගක් අරන් යනව බලන්න.."

"..ඔව් මය පුතේ..ලොකු නෝන කරන මේ උදවු අමතක කරන්නෙපා කවදාවත්..."

ලොකු ටීච නිතරම මගෙ ලකුණු ගැන ටීචගෙන් ඇහුව.මට තමයි හැමදාම ලකුණු වැඩි.ලොකු ටීචට ගයාන්ගෙ ලකුණු ගැන ගාණක්වත් නෑ.අපේ අම්මට නම් මගෙ ලකුණු අඩු වුනාම දුකයි.ඒ උනාට ලොකු ටීච එහෙම නෑ.මගෙ ලකුණු හැම පේපරේටම 98, 95 වගේ.ටීච නම් කිව්වෙ සපුමල් තමයි කවදා හරි මේ ඉස්කෝලෙ ඉතිහාසෙ වෙනස් කරන්නෙ කියල.අපිට ඕව තේරෙන්නෙත් නෑ.ඒත් ටීච කියනව මේ ඉස්කෝලෙ මෑතකදි කවුරුත් ශිෂයත්වෙ පාස්වෙලා නැතිලු.දක්ෂ ලමයි හිටියට කවුරුත් උනන්දු කලෙත් නැතිලු.ඒ අතින් මේ විදුහල්පතිතුමිය මට උදවු කරනෙක මගෙම වාසනාවලු.

"...සපුමල්ට දැන් දෙමල ඉංග්රීසි වචනත් හොදට පුලුවන්.ඒ නිසා සපුමල්ට විභාගෙ පාස් වෙන්න විතරක් නෙමේ ලංකාවෙන්ම වැඩිම ලකුණු ගන්නත් පුලුවන්..."

ටීච අපේ අම්ම එක්ක කියද්දි අම්මගෙ ඇස් වලින් කදුලු එනව මං දැක්කා.

"ලොකු ටීච කොලුවට ගොඩක් උදවු කරනව ටීච.."

"..සපුමල් මේ ඉස්කෝලෙ ඉන්න තරුවක්.."

ටිකෙන් ටික විභාගෙ දවස් කිට්ටු වුනා.මගේ යාලුවො වුනු කමල්ට නිමල්ට..විභාගෙ ගැන කිසිම ගානක් නෑ.ඒත් මං නම් හිටියෙ ඒ දවස ගැන ඇගිලි ගනිමින්.විභාගෙ කිට්ටු නිසා ලොකු ටීච මාවයි ගයාන්වයි පන්සලේ බෝධි පූජාවකට එක්ක ගියා.හාමුදුරුවන්ට කියල මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා.මාත් හරි ආසාවෙන් ලොකු ටීචත් එක්ක පන්සල් ගියේ.ගයාන් නම් ඉස්සර වගෙම තමයි.නිතරම සෙල්ලම් කරනෙකමයි වැඩේ.මං ලොකු හාමුදුරුවන්ගෙන්  තව පිරිත් නූලක් ඉල්ල ගත්ත.ගෙදර ඇවිත් ඒක අම්මගෙ අතේ බැන්ද..

"...මට නෙමෙයි කොලුවො.උබටයි දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට ඕනෑ.මට මොන ආසිරිවාදද? දෙයියන්ගෙ පිහිටෙන් උබට මේ විබාගෙ පාස් කරගන්න පුලුවන් උනොත් ඒ ඇති..."

ඉස්කෝලෙ ටීචයි ලොකු ටීචයි නිතරම මං දක්ෂයි කියන නිසා අම්මත් දැන් මංතරේ මතුරනව වගේ එකම දේ කියවන්නෙ.ඒත් මං දන්නව.අම්ම මේ වගේ දුක් විදින්නෙ මට හොදට උගන්නන්න ඕන නිසා.අම්ම නම් කියන්නෙ එයා මේ තරම්  දුක් විදින්නෙ ඒ කාලෙ ඉගෙන ගත්තෙ නැති නිසාලු.ඒ හින්ද මට හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්නලු..

විබාගෙ දවසත් කිට්ටු වෙනව.මං හවසට යාලුවො එක්ක සෙල්ලම් කලේ නෑ ගොඩක් දවසකින්.ඉස්කෝලෙ ගිහින් ඇවිත් තියෙන දෙයක් කාලා වත්ත පහල දොළෙන් නාගෙන ආයෙම පොත්වල වැඩ කරනව.නොදන්න දෙයක් තිබ්බොත් ලොකු ටීචලා ගෙදරට දුවගෙන ගිහින් ලොකු ටීචගෙන් අහගන්නව.
"...අම්මේ මේ අකුර මං ලිව්ව හරිද?...

එක දෙක වසරෙදි මං අම්මගෙන් සමහර දේවල් ඇහුවම,

"...ටීච උබට කියල දුන්නෙ ඔහොමද..එහෙනං හරි පුතේ.උබ ටීච කියපු විදියටම ලියපං.නැත්තම් වැරදෙයි.."

අම්ම දෙන්නෙ ඔය උත්තරෙ තමයි.ඒත් මං දැන් දන්නව.අම්ම ඉස්කෝලෙ ගියෙ නැති නිසා අකුරු දන්නෙ නෑ කියල.ඒ උනාට අම්මගෙන් සමහර දේවල් ඇහුවම අම්ම අපේ ලොකු ටීචටත් වඩා හොදට ඒව දන්නව.පස්තාව පිරුලු.ජන කවි.විරුද්ධ පද.යුගල පද වගේ ඒව.ගණිතය එකතු කිරීම් අඩු කරීම් පොත්වල ලිව්වෙ නැති උනාට හරි උත්තරේ දන්නව.එහෙම බැලුවම අම්මට ඉංග්රීසි විතරනෙ බැරි.

"..අම්ම ඉස්කෝලෙ ගියේ නැත්නම් මේව ඉගැන්නුවෙ කවුද.."

"...ඒව මට කවුරුත් ඉගැන්නුවෙ නෑ බං.මං ඉගෙන ගත්ත.."

"..උගන්නන් නැතුව ඉගෙන ගන්නෙ කොහොමද..

"...එහෙම ඉගෙන ගන්න දේවලුත් තියෙනව පුතේ..හිටින් මං උබට තේ ඩිංගක් හදල දෙන්න..

හෙට තමයි විභාගෙ.හැබැයි ඒ විභාගෙ තියෙන්නෙ ටවුමෙ ඉස්කෝලෙක.බස් එකෙන් යන්නත් ඕන උදෙන්ම.අපිට ඉස්කෝලෙදි විභාග අංකෙකුත් දුන්න.ටීච කිව්ව ඒ අංකෙ ගහල තියෙන ඩෙස් එක ලඟ වාඩි වෙන්න කියලා.මං ඒ අංකෙ ලොකුවට ෆයිල්  එකෙ ලියාගත්ත.ඒ අංකෙම පේපර්වලත් ලියන්න කියල ටීච අපට උපදෙස් දීල තිබ්බෙ.මං අම්ම එනකන් පිලට වෙලා හිටියෙ පොතකුත් අතේ තියාගෙන.අදනම් අහස රතු පාට වෙලා.හරි ලස්සනයි.මං එහෙම හිතුව.ඈතින් අම්ම එනව දැකල මං කඩුල්ල ලගටම ගියා.

"..හෙට තමයි අම්ම විභාගෙ.ටවුමෙ ඉස්කෝලෙට යන්න ඕන.බස් එකෙ තමයි යන්න වෙන්නෙ.අම්ම දන්නවද ටවුමෙ ඉස්කෝලෙ තියෙන තැන.මං නම් දන්නෑ.."

"..මහත්තයට කියල මං හෙට නිවාඩුවක් දා ගත්ත.මුදලාලිගෙ කඩෙන් මං පොල් ගෙඩියකුත් අරන් ආවෙ.මං උදේට කිරිබත් ටිකක් හදල දෙන්නම්කො මගෙ පුතාට කාල යන්න.හෙට උදේම නැගිටල ලෑස්ති වෙන්න ඕනෑ.බස් එකට වෙලාවට යාගත්තෙ නැත්තම් උබට විභාගෙට පරක්කු වෙයි..."

"..හරි හරි අම්මෙ.මං උදේම නැගිටල ලෑස්ති වෙන්නම්කො..."

"..ඈ බං පුතේ..අර එන්නෙ ලොකු නෝනා නේද...
අම්ම කියනකොට මං පාර දිහා බැලුවෙ.ලොකු නෝනාගෙ හිනාව ඈත තියාම දැක්කම මට හරි සතුටුයි.

"..සපුමල් හෙට විභාගෙට ලෑස්ති නේද.."
මගේ ඔලුව අතගාමින් එහෙම ඇහුවෙ.

"..ඔව් ලොකු ටීච.."

"..සපුමල්ගෙ අම්මෙ හෙට තමයි විභාගෙ තියෙන්නෙ.හැබැයි ටවුමෙ
 ඉස්කෝලෙට යන්න ඕන.."

"...මං හෙට වැඩට යන්නෙත් නෑ නෝනෙ.මං උදේම කොලුවව එක්ක යනව එහෙට.."

"...සපුමල්ගෙ අම්ම වැඩට නොයා ඉන්නෙක පාඩුයි නේද..

"අනේ ඉතිං ඒක මොන පාඩුවක්ද නෝනෙ.කොලුව හොදට පාඩම් කරපු එකෙ මං ඒ දේ කරනෙක මහ ලොකු පාඩුවක්යැ..."

"...සපුමල්ගෙ අම්මෙ.අපේ පුතත් හෙට විභාගෙ ලියනවනෙ.ඉතිං අපිත් කොහොමත් හෙට යනව.මට පුලුවන් හෙට සපුමල් අපිත් එක්කම එක්ක යන්න.අනික බස්වල යන්න ඕනත් නෑ.අපෙ කාරෙකේම ගිහින් එන්න පුලුවන් සපුමල්ට..."
ලොකු ටීච මගෙ දිහත් බලමින් එහෙම කියද්දි මගෙ සතුට දෝරෙ ගලා ගියේය.

"...එතකොට මම එන්න ඕන නැද්ද නෝනෙ..."

"..සපුමල්ගෙ අම්ම වැඩට යන්න.අපරාදෙනෙ හම්බවෙන පඩිය නැති කරගන්නෙ.අපි සපුමල්ව එක්ක යන්නම්.."

"..හොදයි නෝනෙ එහෙනම්.නෝනට බොහොම ස්තූති මේ කරන උදවු වලට."

"..ඕව මොනාද ඉතිං.සපුමල්.මේ ටික ගන්නකො.හෙට විභාගෙට ඕන කරන පෑන් පැන්සල් මෙතන තියෙනව.මේකත් ඔයාට.හෙට එද්දි මේ අලුත් ඇදුමත් ඇදගෙන එන්නකො.."

මගෙ සතුට දෙගුණ තෙගුණ විය.ඇත්තමයි ලොකු ටීච මට මේ කරන උදවු මං කවදාවත්ම අමතක කරන්නෙ නෑ.

පහුවදා උදේම නැගිටල වෙනදට වඩා උද්යෝගයකින් මං ලෑස්ති වුනා.අම්මගෙ අතින් කිරිබත් ටිකත් කාලා ඕන කරන සේරම අරගෙන යන්න කලින් අම්මටත් දණ නමල වැන්දේ හිතේ දහසක් හීන මවාගෙන.මං උදේම ලොකු ටීචර්ල ගෙදරට ගියේ අම්මත් එක්කමයි.

"...බුදු සරණයි පුතේ.හොදට ලියල එන්න ඕන."
අම්ම එහෙම කියල මාව තුරුලු කරන් මගෙ ඔලුව සිප ගත්තා.

ගයානුත් මමත් කාර් එකේ පසුපස අසුනේ වාඩි වුනෙමු.ලොකු ටීච ඉදිරි අසුනේය.මෙය මට නුපුරුදු ගමනකි.කලාතුරකින් හරි බස් එකෙ ටවුමට යනව ඇරෙන්න මං කාර් එකක යන පලමු වතාව මෙය වේ.හිරු එබී බලන මනරම් තේ යාය අතර මීදුම සේද සලුවක් ඇතිරුවා සේය.ඒත් ඒ ලස්සන තියෙන්නෙ ටික වෙලාවක් විතරයි.ඊට පස්සෙ සීතලත් මීදුමත් ගොදුරු කර ගන්නෙ ඉර මුදුන් වෙනකොට.

මට පුලුවන් මේ විභාගෙ පාස් වෙන්න.ඊට පස්සෙ අනෙක් විභාගත් පාස් කරල හොද රස්සාවක් කරනව.එතකොට ඉතිං මටත් පුලුවන් මේ වගේ කාර් එකක් ගන්න.නොදැනිම කාර් එක ටවුමෙ ඉස්කෝලෙටත් ඇවිත්.මම හීන් සීරුවේ කාර් එකෙන් බැහැල වට පිටාව බැලුවේ පුදුමයෙනි.මමේ ඉස්කෝලෙ තට්ටු දෙක තුන උසට ගොඩනැගිලි.පන්ති කාමර ගොඩයි.හරිම ලස්සනයි.ළමයින් වගෙම දෙමාපියන්ගෙත් හරි ම කලබලයක්.ගොඩක් ළමයි ඇවිත් හිටියෙ සපත්තු දාල හොද අලුත් ඇදුම් ඇදගෙන.මාත් ඉතිං සපත්තු නැති වුනාට අලුත් ඇදුමක්නෙ ඇදන් ආවෙ.
සපත්තු නැති අය හිටියෙ ටික දෙනයි.හැමෝම වගේ ආවෙ කාර් වෑන් වලින් තමන්ගෙ අම්ම තාත්ත එක්ක.තාත්තෙක් නැතත් මට අද අම්ම හරි එක්ක ආවනම් කියල හිතුන.කමක් නෑ ඉතිං.මාත් ආවෙ කාරෙකෙනෙ.මං එහෙම හිත හදාගත්තා.

"...සපුමල්.පුතේ දෙන්නම දැන් යමු ඇතුලට.විභාග ශාලාවට ඇතුල්වෙන වෙලාව හරි.."
ලොකු ටීච එහෙම කියල  අපිව ශාලාව ඇතුලට එක්ක ගියා.මම ටීච කියල දීපු විදියට මගේ අංකෙ ඇති ඩෙස් එක හොයා ගත්තා.ඊට ඩෙස් දෙක තුනකට එහා ගයාන්ගෙ අංකෙ හොයල දුන්නෙත් මමමයි.ශාලාවෙ හිටපු බඩ මහත මහත්තයෙක්  සියලුම දෙමාපියන් ශාලාවෙන් ඉවත්වෙන ලෙස අණ කලා.ලොකු ටීච ඒ මහත්තය ලගට ගිහින් මොනවදෝ කියනව මං දැක්ක.ඊට පස්සෙ මගෙ ලගට ආපු ලොකු ටීච."...සපුමල් සමහර ලමයි අද ඇවිත් නෑ.ඒ නිසා සමහර ඩෙස් මාරු කරන්න වෙනව.හොද වෙලාවට මං ආවෙ.නැත්තම් ඔයාට හරි අංකෙ හොයාගන්න වෙන්නෙ නෑ.ඔයා ඉන්න ඕන මෙතන...එහෙම කියල ලොකු ටීච මාව ගයන් ඉන්න තැනට යැවුව.

"...සපුමල් ඔයා පේපර් එකෙ ලියන්න ඕන මේ ඩෙස් එකේ තියෙන අංකෙ.හොදද.හරියට මතක තියාගන්න..."

එහෙම කියපු ලොකු ටීච ඉක්මනට එලියට ගියා.මම වටපිට බැලුවෙමි.ඉදිරි සහ පසුපස අසුන් කීපයක් හිස්ය.අපේ පාසලෙන් ඇවිත් හිටියේ ලමුන් දෙතුන්දෙනෙකි.නිමල්,කමල් .,සුනිල් හෙම ඇවිත් හිටියේ නැත.සමහරවිට හිස් පුටු ඔවුන්ගේ ඒවා වියයුතුය.අංක වෙනස් වෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.මං එහෙම හිතුව.

'"කොහොමද සපුමල්.විභාගෙ ලේසිද..

"..ඔව් ලොකූ ටීච.පේපර් දෙකම ලේසි.."
මම කීවෙ හරිම සතුටිනි.

###$$$$$########$$

සිදු වූ සියල්ල මා අම්මා සමග කීවෙමි."..මං ගියානම් උබට හරි අංකෙ හොයල දෙන්න වෙන්නෙත් නෑ.වාසනාවට වගේ ලොකු නෝන උබව එක්ක ගියේ.." අම්මා එසේ කීවේ සිතේ විශ්වාසයෙනි..

"..කොහොමද සපුමල්.විභාගෙ ලේසි වුනාද.මං නම් දන්නව සපුමල්ට අමාරු වෙන්නෙ නෑ කියල.."
පන්ති භාර ටීච මගෙ දිහා බලාගෙන සිනාසෙමින් එසේ කීවෙ හරි ආදරයෙනි.

"..පේපර් දෙකම ලේසියි ටීච.අපේ පන්තියෙ ළමයි පස්දෙනෙක් වගේ හිටියෙ.අනෙක් අය විභාගෙට ගිහින් හිටියෙ නෑ.ඒ නිසා ආයෙ අංකත් මාරු කරන්න වුනා.."

"..සපුමල්ගෙ අංකෙත් මාරු කරාද.."

"..ඔව් ටීච.ලොකු ටීච තමයි මගෙ අංකෙ හොයල දුන්නෙ..

"...සපුමල් ලිව්වෙ මං දීපු අංකෙ නෙමෙයිද එතකොට.
"මගෙ හරි අංකෙ ලියල තිබ්බෙ ගයාන් හිටපු ඩෙස් එකෙ...

මම එහෙම කිව්ව විතරයි ටීචගෙ ඇස් ලොකු වුනා.මහ වැස්සක් වහින්න හදන අහස වගේ ටීචගෙ මූණ අදුරු වෙනව මං දැක්ක.ටීචට අංක වැරදුනා කියල දුක හිතෙන්නැති.අපරාදෙ මං මේ ගැන කිව්වෙ.දිග හුස්මක් ගත්තු ටීච දුවගෙන ගියේ ලොකු ටීචගෙ ඔපිස් එක පැත්තට.සමහරවිට සමාව ගන්න වෙන්නැති.ටික වෙලාවකින් මාත් ඒ පැත්තට හෙමින් ඇදුනෙමි.

"මොන දේ උදුරගත්තත් ඒ ලමයගෙ දක්ෂකම උදුරගන්න බෑ මැඩම්.."මට ඇහුනෙ ඒ ටික විතරයි.ටීචගෙ ඇස්වල කදුලු.සමරවිට ලොකු ටීච බනින්න ඇති.ඊට පස්සෙ සතියක් විතරයි ටීච ඉස්කෝලෙ ආවෙ.දවසක් මාව ලගට ගෙන්න ගත්ත ටීච දුකෙන් වගෙ කතා කරා...
"...සපුමල් ශිෂයත්වෙ කියන්නෙ පොඩි විභාගයක්.ඊට වඩා ලොකු විභාග තව තියෙනව.මේක පාස් වුනත් නැතත් ඒව තමයි පාස් වෙන්න ඕනෙ...කියල කිව්ව.එදයින් පස්සෙ ටීච අපේ ඉස්කෝලෙට ආවෙ නෑ.

###$$#########

"...පුතේ උබට තාම උණ වගේ නේද.ඔන්න උබලගෙ විභාගෙ ලකුණු ඇවිත්ලු ඉස්කෝලෙට.උබ ගෙදර ඉදිං.මං බලාගෙන එන්නම් ඉස්කෝලෙට ගිහින්..

"...අනේ අම්මෙ මාත් එනව.

අපි දෙන්නම පාසලට පියමැන්නේ විදුලි වේගයෙනි.හෙට ඉදන් මට ලොකු ඉස්කෝල වරම්.තෑගිත් ලැබෙයි ගොඩක්.ලකුණු අහපු ගමන් අම්ම සතුටට අඩයිද දන්නෑ.ඉස්කෝලෙට ඇතුල්වෙන තැන ගයාන්ගෙ ජායරූපයක් සහිත බැනරයක් දා ඇත.

"...කොලුවො.මොකක් කියලද ඕකෙ තියෙන්නෙ ...

"....මෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවෙම පලමු ස්ථානය ලබාගත් ගයාන් රන්දිම දුනුසිංහ පුතුට උණුසුම් සුබ පැතුම්..."

දුවගෙන ආ වේගයට මට දැන් හති වැටී ඇත.අපි ගියේ ලොකු ටීචගේ ඔපිස් කාමරයටයි.අපි දුටු සැණින් මුහුණ හකුලාගත් ඈ "...ආ..මේ ලමයනෙ.

"..මගෙ කොලුව පාස්ද නෝනෙ...

"...මොන පාස්ද.සපුමල්ට ලකුණු 38යි.පාස්වෙන්න තියා හිතන්නවත් බෑ ඒ ලකුණු වලට..

ලොකු ටීච එහෙම කියාගෙන අපි සිටිද්දීම නැගිට එලියට ගියේ අපි දිහාවත් නොබලාය...

"......ඒත්...."...මට කියවුනේ එපමණකි.

..'"...කමක් නෑ මයෙ පුතේ.අපි ගෙදර යමු.ලොකු ටීච ඔය තරහෙන් ඇත්තෙ උබට ලකුණු අඩු නිසා දුකෙන් වෙන්නැති...."

Chanu

No comments:

Post a Comment

හිත පාරන ආදරය

#හිත_පාරන_ආදරය ... " ආ නංගී class ගියාද??" "ඔව් අයියේ දැනුයි එන්නේ" "දැන්ම ඉදන් පංති ගියහම එක්සෑම් ගොඩ දාගන්න...