#හිමි__අහිමි
#කෙටිකතාව
ගිම්හාන කාලෙ ගෙවිලා ගිහිං මැයි මාසෙ ආරම්භයත් එක්ක වහින මහා වැස්ස තාමත් නිමාවක් නෑ..
ගහකොළ වලට අමුතු පණක් ලැබිලා වැස්ස නිසා...
මිදුලෙ කොණකට වෙන්න පුංචිවට සකස් කරපු රෝස මල් පාත්තියෙ තියෙන හුළඟ එක්ක එකතුවෙලා තාලෙට රඟදෙන රෝස මල් පෙති මතට වැටෙන වතුර බිංදු දියමන්ති කැට වගේ දිලිසෙනවා..
කාමරේ ජනෙලේ තිර රෙද්ද මෑත් කරලා මං බලං හිටියෙ ගිගුරුම් හඬ එක්ක පොළව සිපගන්න ඒ ධාරානිපාත වර්ෂාව දිහා...
ජනේලෙන් ගේ ඇතුළට ගලා ගෙන එන පිණි හිරිකඩ මූණෙ තැවරෙනකොට අමුතුම සීතලකින් මගෙ ඇඟ හිරිවැටිලා යනවා..
පුංචි පුංචි වතුර බිංදු දහස් ගාණක් එකතු වෙලා
මිදුල පුරා වතුර ගලාගෙන යනවා..
මිදුල මට පෙනුණෙ හරියට පුංචි ඇළ කඩිත්තක් වගේ...
ඒ එක්කම මට මතක් උනේ දහය වසරෙ සිංහල පොතේ තිබුණ වැස්ස පද්‍ය පන්තිය...
වැස්ස වහින එකට මිනිස්සු ආසයිලු..
ඔව්.....
මාත් වැස්සට ආස කරපු ආදරේ කරපු කාලයක් තිබුණා...
ඒත් දැන් ඒ ආදරේ තරමටම මං වැස්සට වෛර කරනවා..
මට තාමත් මතකයි ඔයයි මමයි මේ වගේම මැයි මාසෙ අනෝරා වැහි දවසක සුදු පාට පුංචි පුංචි මල් ඉහිරුණු රෝස පාට කුඩේ යටින් අත් අල්ලන් ගිය හැටි...
සත්තයි ඒ වැහි සීතලේ පවා මට සීතලක් දැනුනෙ නෑ...
ඔය අත මගෙ බඳ වටේ එතිලා මාව ඔයාගෙ ඇඟට තෙරෙපගෙනයි ඔයා ඒ වැස්සෙත් ඇවිද්දෙ...
වැස්සට තෙමුණු මගෙ ලා කහ පාට දිග ගවුම ඇඟටම ඇලිලා මගෙ සියුමැලි ශරීරයෙ හැම රේඛාවක්ම විනිවිද පේනකොට....
ඔයා මාව වෙන කෙනෙක්ට පෙනෙයි කියලා හරිම පරිස්සමට බස් හෝල්ට් එකට එනකං අරං ආවෙ ආයෙ මේ ගවුම අඳින්න බෑ කියලා තහංචියකුත් දාන ගමන්මයි...
බස් එකේ යන කොට පවා ළඟ ඉන්නෙ කවුද....
ඌ කොල්ලෙක්ද...
ඇගේ ගෑවෙන්න එනවා වගේද....
එහෙම ආවොත් එහෙම කණ පිරෙන්න බණින්න කියලා උපදෙස් දිදී ගෙදරට එනකංම මාත් එක්ක ඔයා මැසේජ් කලා...
ඒ තරම්ම මාව පරිස්සම් කලා...
වෙලාවකට ඒ ආදරේ මට වදයක් උනාම මම ඔයාට බණිනවා...
" මේ මොන වදයක්ද රුසිරු අයියෙ....
මං කන එකයි නාන එකයි ටොයිලට් යන එකයි හැම රෙද්දම ඔයාට කියන්න ඕනිද...
කොල්ලෙක් බැලුවත් ඒකත් කියන්නෝනි...
අන්තිමට අහිංසක මමමයි වැරදිකාරයා...
හුම්ම්....😡😡😡
මට බෑ තවත් මේක කරන්න......"
ඉවසීමේ සීමාවක් නැති ඉවසලා පුරුද්දක් නැති මම ඔයාට බණින්නෙ එහෙම....
ඒත් කේන්ති ගිහිං ඉන්න මාව විහිළු කරලා ඔයා නිවන හැටි හරි පුදුමයි....
" සෙහාරා....
මගෙ මැණික....
හම්මේ කේන්ති යන තරම් මේ කෙල්ලට...
මැරි කලාමත් ඔහොමද
ම්...
මගෙ සුදු මැණික..
මේකි කොයි වෙලාවෙ බැලුවත් මිරිස් කාගත්ත ගමන්මයි..."
එහෙම කියලා ඔයා හිනාවෙනවා...
මුළු ලෝකෙම මොහොතකට අමතක කරවන ඒ හිනාව අහන්න මං කොයිතරම් ආස උනත් ඒ වෙලාවට පරදින්න අකමැති නිසා මංම මගෙ යකා තව ටිකක් අවුස්සගන්නවා..
" මැණික....
මගෙ හුරතලියෙ....
කතා කරන්නකො...
අයියට පාළුයිනෙ මගෙ චූටි කෙල්ලෙ.....
අහ් මේ බබා....
මට ඔයාගෙ අම්මගෙන් අහන්න දෙයක් තියෙනවා....."
"හෑ....... ඒ මොකක්ද....."
නොදැනීම මගෙ කටින් පිටවෙනවා..
"බබා.....
අම්මාගෙන් අහලා මට හරියටම කියන්න ඔයා දත් මදින්නෙ පොල් ලෙල්ලකින්ද කියලා.. ..
😂😂😂😂"
ඔයා හිනාවුණා මතකයි...
ඒ හිනා හඬ දැනුත් මගෙ කන් දෙක පුර දෝංකාර දෙමින් රැව්දෙනවා මට ඇහෙනවා....
" මං කියන් නෑ මදින එක....
මොඩ කොල්ලා....
ඌරා...
ගෙම්බා...
හැල ගෙම්බා...
වඳුරා....
පොල් කාවයියා...
ගං කබරයා...
උණහපුලුවා....
හුම්ම්....
මං තරහම තරහයි......"
😂😂😂😂😂😂😂
සත්තු වත්තම අනුස්මරණය කරමින් මං ඔයාට නම් කියනවා...
ඔයා හිනාවෙනවා..
" අම්මෝ සුදු මණික එච්චර ගොඩක් කිව්වෙ ඇයි...."
'ඇයි මොකද.....
ඒ සේරම ඔයාගෙනෙ හුම්...."
" ඔව් ඉතිං මගෙ තමයි..
මගෙ සංකැටේ අහන්නකො...
ඔයා ඒ කිව්වෙ අපි මැරි කලාම හදන බබාලගෙ නම් ටික නේද...හී...හී....😜😂
අම්මෝ හොර කෙල්ල......
ජරා වෙලා මේකි දැන් හරියට..."
"අනේ යන්න මෝඩයො.....
පොලොස් කොට්ටෝරුවා....
වල්කම නම් තියෙනවා ලොකුවටම හුම්...😕
ඒක විතරයි පුලුවන්..
වෙන මොනාහරි වැඩක් කිව්වොත් තමයි බැරි...
අහුවෙනවකො මට....."
පුංචි පුංචි රණ්ඩු මැදින් ගලාගිය ඒ ආදර මතක මේ සීතල වැහි මන්දාරම මැද්දෙ ආවර්ජනය කරමින් මං මගෙ අසරණ හිතට තව තවත් වේදනා දුන්නා..
" සෙහාරා.... "
අම්මාගෙ කටහඬිනුයි මං තිගැස්සිලා මේ ලෝකෙට ආවෙ..
අම්මට වෙනස තේරෙන්න ඇති...
එයා මගෙ මූණ දිහා කැළඹුණු ඇස් වලින් බලද්දි මම කලේ මූණ හංගගන්න ට්‍රයි කරපු එක...
" දැන් ඇති දරුවො හිතෙන් ඔහොම දුක් වින්දා...
ඔයා මොන වරදක් කලාටද.....
මං ඔයාගෙ අම්මා පුතේ...
මට බෑ ඔයා හූල්ලනවා බලාගෙන ඉන්න..."
මං හැඟීම් විරහිතව අම්මා දිහා බලං හිටියා.
" හෙට අර ළමයා එනවා එයාගෙ දෙමව්පියොත් එක්ක...
මං මේ ඒක කියන්න ආවෙ...."
මං ගැඹුරු හුස්මක් හෙලුවාම අම්මා මගෙ දිහා අනුකම්පාවෙන් බලලා යන්න ගියා...
හෙට එන්නෙ හේශාන්..
මං බඳින්න ඉන්න මනමාලයා...
ඒත් මගෙ ආදරේ අමතක කරගන්න බැරුව ඉන්න මම කොහොමද කෙෂාන්ව බැඳලා එයාට අසාධාරණයක් කරන්නෙ...
මගෙ හිත අතීතයට පියමං කලේ මටත් හොරෙන්...
______________________________
ඒ ලෙවල් කරන්න ධර්මරාජෙට ආපු මගෙ පස්සෙන් දහතුන වසරෙ අයියලා වැල නොකැඩී ආවත් මගෙ හිත නතර වුණේ නමටම ඔබින කඩවසම් රූපෙකට හිමිකම් කියපු #රුසිරු අයියා ළඟ..
හැමෝම කියපු විදිහට මට තියෙන්නෙ කලාතුරකින් කෙනෙක්ට පිහිටන ලස්සනක්...
හිනාවෙනකොට වම් පැත්තෙන් පේන නළ දත්,
දකුණු කම්මුලේ පිහිටි උපන් ලපය,
ඇත් දළ පැහැ සම,
රෝස පැහැ සිහින් තොල් සඟල,
හැඩැති ඇඟ ,
දණහිසට තරමක් ඉහළින් වූ අක්බමරු කේශ කලාපය...
කෙල්ලෙක්ට මීට වැඩිය තවත් මොන ලස්සනක්ද..
වෙලාවකට මට මං ගැනම ආඩම්බර හිතුණා උපතින්ම මේ තරම් ලස්සන රුවක් එක්ක අරගෙන ආපු එක ගැන..
මට මතකයි ඉස්සෙල්ලාම ඔයාගෙ රුව මගෙ ඇස ගැටුණු මොහොත..
" ඔය ධර්මරාජෙ ළඟ බහින කට්ටිය දොර ගාවට කිට්ටු වෙන්ඩ......"
" ආ..ව් මගෙ රිබන් එක....."
උදේ හතට එන ලංගම බස් එකේ මිනිස්සු අතරෙ තෙරපෙමින් හිටපු මගෙ කොණ්ඩෙ අගිස්සෙ ගොතලා සමනල් ගැටේ දාලා තිබුණු රිබන් එක ඔයාගෙ ස්කූල් බෑග් එකේ සිපර් එකක පැටලිලා තිබුණා..
ඉස්කෝලෙ ළඟ බස් හෝල්ට් එකෙන් බැහැලා පාරෙ කොණකට වෙලා ඔයා ඒ පැටලුම ලෙහලා මාව ගණන් ගන්නෙවත් නැතුව ඉස්කෝලෙ ඇතුළට ගියාම මට එදා හිතුණෙ ඔයා හරිම ආඩම්බරකාරයෙක් කියලා..
ඒත්....එදා ඉඳන්ම මගෙ ඇස් වලට හොරෙන් මගෙ පස්සෙන් ඇවිත් මං යන්නෙ එන්නෙ කොහෙද...
නම..පවුලෙ විස්තර වගේ හැමදෙයක්ම ගැන ඔයා දැනගත්තෙ කොහොමද කියලා ඔයා අදටත් මට කියලා නෑ..
" ස්..ස්........"
" අහක බලන් යන්නෙ නංගි ඇයි අපි කළුද.......? "
ගොඩක් වෙලාවට මේ වගේ කතා කිව්වෙ ඔයා නෙමෙයි...ඔයාගෙ යාළුවො..
ඔයා යටි තොල හපාගෙන හිනාවෙවී දත් සෙට් එක එළියෙ දාගෙන මං දිහා බල බලා විතරයි..
" ඒයි...සෙහාරා...අන්න අර මිස්ට හැන්ඩ්සම් අදත් ක්ලාස් එක ළඟ අව්වෙ කරවල වෙනවා...
අනේ පව් සෙහාරා...
දැන් දවස් කීයක්ද...
එක්කො උඹ කැමති වෙයන්...
නැත්නම් අපි තුන්දෙනාගෙන් එකෙක්ට දියං...."
" අනේ පලයල්ලා....දෙනවා මං උඹලට....."
" ආව්....ආ....ව්.....ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට...
ඒ කියන්නෙ උඹත් කැමතියිනේ...."
😂😂😂😂
ඔයා මගෙ පස්සෙන් එන්න පටන් අරන් මාස නවයයි දවස් එකොළහක් ගෙවුණ දවසෙ මං ඔයාට ආදරෙයි කිව්වා..
මට මතකයි...එදාත් මේ වගේ මහ හයියෙන් වැස්සා..
එදා තරම් ඔයා ජීවිතේ කවදාවත් සතුටු වෙලා නෑ කියලයි ඔයා මට කීවෙ...
තාත්තා නැති මගෙ දුකට සැපට වගේම තාත්තගෙන් මට ලැබෙන්න ඕන ආදරය සෙනෙහස මට ලබාදුන්නු අම්මාට බොරු කරල එයාට හොරෙන් ඔයා එක්ක සතියකට එකපාරක්වත් පාක් යන්න මං පුරුදු වුණා..
ඒත් ඔයා මාව ඔයාගෙ ඇහිපියන් යට තියාන පරිස්සම් කලේ..
කිසිම වැරැද්දක් මට වෙන්න ඉඩ තිබ්බෙ නෑ..
ඒත්...එක මූසල වැහිබර දවසක ඔයාවත් මංවත් නොහිතපු දෙයක් සිද්ධවෙලා තිබුණා..
සැරපරුෂ විදුහල්පතිනියක් විදියට නම් දරා හිටපු ඔයාගෙ අම්මා අපි දෙන්නා බස් හෝල්ට් එකේ එකට අත් පටලවගෙන ඉන්නවා දැකලා තිබුණා..
එදාට පස්සෙ අපේ ආදරේට කණකොකා හඬන්න වුණා..
ඔයාගෙ අම්මා හයිය පෙන්නන්නත් එක්කම නවීන පන්නයෙ කා එකේ අපේ දුප්පත් ගෙදරටම ඇවිත් මගෙ අසරණ අම්මට නොසෑහෙන්න බැණවැදිලා තිබුණෙ කොහෙවත් යන කඩමාළු කෙල්ලන්ට දෙන්න එයා ළඟ පුත්තු නෑ කියලා...
අම්මා මට ඒ බව කිව්වෙ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන..
අනේ මගෙ අසරණ අම්මා නිකරුණේ කතා අහගන්නෙ මං හින්දා නේද කියලා එදා මං ගොඩාක් දුක් වුණා..
මාව ඇස් දෙක තරම් පරිස්සම් කරපු ඔයා එකපාරටම වෙනස්වුණේ කුණාටුවක් වගේ..
මට ඒක දරාගන්න බැරි වුණා..
එදා....
ඔව්...මට තාම මතකයි..
එදත් වැහි අන්ධකාරෙ පිරුණු දවසක්..
කවදාවත් නැතුව ඔයා මට සැර වුණා..
ඔයා කතෝලික....මං බෞද්ධ..
ඔයාව ඕන නම් මගෙ ආගම අත්හැරලා ඔයාගෙ ආගම වැළඳගන්න ඕනි කියන නීතිය එදා ඔයා මට පැනෙව්වත් , උපන්දා ඉඳන් ගිය පන්සල , විහාර ගේ ඇතුළට ගියාම එන හිත නිවෙන හඳුන්කූරු සුවඳ අමතක කරන්න..
බෝ සෙවණෙ සිලි සිලි හඬ එක්ක මුසුවුණ සැනසිලිදායක සුළඟ...ඒ හඬ අමතක කරන්න මට පුළුවන් කමක් තිබුණෙ නෑ..
ඒ වෙනුවට මං හිත හදාගත්තා ඔයාව අමතක කරන්න..
ඔයත් කිව්වෙ එහෙම..
අනෝරා වැස්සෙ වෙනදා පුරුදු විදිහට කුඩේ යටින් මාත් කියලා මං එක්ක අත් පටලවගෙන යන්න ඔයා ආවෙ නෑ..
ඇස් කෙවෙනි රතු වෙලා වේදනා දෙනකන් පාර දිගේ අඬ අඬා මං බස් හෝල්ට් එකට ආවා මට අද වගේ මතකයි..
ඒත් අද වෙනතුරුත් මගෙ මතකෙන් ඔයාව සම්පූර්ණයෙන්ම මකලා දන්න මට බැරිවුණා..
නොකා නොබී කොට්ට උරේ රූප බොඳ වෙනකන් රෑ දෙගොඩහරියක් වෙනකම් ඔයාව මතක් කරන් අඬපු හැටි තාමත් මට මතකයි..
කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් මං ඔයාට දුරින් ඉඳන් ආදරේ කලා..
ඔය අතරෙ උසස් පෙළ විභාගය ළංවුණා..
ටිකක් දඟකාර කෙල්ලක් වුණ ඉස්කෝලෙට අළුතෙන් ආපු පලාතෙ පොලිස් ස්ථානාධිපතිගෙ දුව ක්‍රිශාලා එක්ක ඔයා යාළු වුණේ මට රිද්දන්නත් එක්ක කියලා මං දැනගෙන උන්නා..
හිත දැඩි කරගෙන මගෙ අම්මා ගැන හිතපු මං හොඳින් පාඩම් කලා..
විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න පළමුවර විභාග ප්‍රතිඵල මදි වුණ නිසා මං සතිඅන්ත රැකියා ඇබෑර්තු පුවත්පත් පීර පීර රැකියා හෙව්වෙ අම්මට බරක් වෙලා තවත් ඉගෙනගන්න බෑ කියලා හිතුණ හින්දා..
අවසානෙ මට බැංකුවක ලිපිකාරිණියක් විදිහට රැකියාවක් ලැබුණෙ මං හදාරපු පරිගණක පාඨමාලාවට වගේම මගෙ ඉංග්‍රීසි දැනුමට පින් සිද්ධවෙන්න.
අවුරුදු පහක් ගෙවුණා...
මං මගෙ රැකියාවෙන් ඉහළ තැනකට ආවා..
ඔයාට මොකද උනේ කියලා විස්තර හොයන්න හිතාගෙන මං ඉස්කෝලෙ යාළුවො කීපදෙනෙක්ම හම්බවුණත් ඒ කිසිකෙනෙක් ඔයා ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ..
ඔයයි අම්මයි ඒ කාලෙ පදිංචි වෙලා හිටපු සුවිසාල ගේ වටේ තණකොල වැවිලා ජරාවාස වෙලා ගිහින් තියෙනවා මං දැක්කා..
සමහරවිට ඔයාලා පදිංචිය වෙනස් කරන්න ඇති..
මං හිතුවා...
ඒත් මං ඔයා ගැන හොයන එක නතර කලේ නෑ..
මේ පුංචි රටේ කොතැනක හරි ඔයා යහතින් හුස්ම ගන්නවා නම් මට ඒ ඇති..
බැංකුවෙන් ලැබුණු රැකියාව හොඳින් වගකීමෙන් කරගෙන ගිය නිසා මට නුදුරු කලෙකින්ම උසස්වීමක් ලැබුණා...
ඒ ලැබුණු ආදායමෙන් ඉතුරු කරගත්තු මුදලෙන් හරියට හුණු ටිකක්වත් ගාන්න නැතුව අපිළිවෙලට තිබුණු අපේ ගෙදර නානකාමරයක් හදලා,
බිමට ටයිල් ටිකක් අල්ලලා, සිවිලිම් ගහලා,
බීරළු අල්ලලා, මිදුලට සිමෙන්ති ටයිල් කැට අල්ලලා, ඉස්තෝප්පුවෙ ගරාඳි වැටක් ගහලා ලස්සන මල් පිරුණු පෝච්චි පිළිවෙලට තියලා අලංකාර කරන්න මට පුළුවන් වුණා..
ලීසිං ක්‍රමයට ස්කූටර් බයික් එකක් ගන්නත් මට පුළුවන් වුණේ මගෙ අධිෂ්ඨානශීලී උත්සාහය හින්දා..
මගෙ ඉංග්‍රීසි දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න හිතපු මං සතිඅන්තෙ ප්‍රජා ශාලවෙ ඉතාම අඩු මුදලක් අය කරලා ගමේ ළමයින්ට පන්ති පැවැත්වුවා.
ඔයා ගැන හිත් කොණක තියෙන පුංචි බලාපොරොත්තුව ඇරුණු කොට මට ඕන වුණේ මගෙ අම්මාව සැපවත් කරන්න විතරයි.
" දුව.....හවස් වෙන්න කලින් නාගෙන එන්න...
හන්දියෙ කඩේට යන්නත් ඕනි එළවළු ටිකක් මොනවාහරි අරන් එන්න...
හෙට අර කට්ටිය එනවනෙ...."
ඔයාගෙ ආදරේ ගැන වේදනා පිරුණු මතක අස්සෙ අතරමං වෙලා උන්නු මං අම්මගෙ ආදරබර කටහඬින් තිගැස්සුණා..
ඒ වෙනකොට වැස්සත් තුරල් වෙලා තිබුණා..
" හරි අම්මා...ඉන්නකො මං ඉක්මනින් එන්නම්...
මාත් එක්කම යමු...."
________________________________________
ජනෙල් රෙද්ද අතරින් පෙරීගෙන එන ලාහිරු රැස් සියුම් රස්නයක් එක්ක ඇඳේ ගුලිවෙලා නිදාගෙන ඉන්න මාව තව තවත් නිදි ලොවට කැඳවගෙන ගියත් අම්මා උදේම ඇහැරගෙන ළිප ඉස්සරහ ගින්දර එක්ක ඔට්ටු වෙන හැටි මතක් වෙලා ඉබේම මාව ඇඳේ ඉන්දවුණා..
හිතුවා හරි...
චීත්ත රෙද්දක් සීතල නොදැනෙන්න කරවටේ දාගෙන අම්මා උදෙන්ම ඇහැරලා කෑම හදනවා..
කුස්සියට එබිකම් කරද්දිම මට අම්මා හදන පරිප්පු හොද්දෙ සුවඳ දැනුණා..
ඕනෑම කෑමක් බීමක් හදන්න අම්මට පුදුම අත්ගුණයක් තිබුණා..
පූරුවෙ පිනකටදෝ මන්දා ඒ අත්ගුණේ මටත් ඒ විදිහටම පිහිටල තිබුණා..
ඒ වෙනකොට අම්මගෙ උදව්වට අල්ලපු ගෙදර විනීතා නැන්දත් ඇවිල්ලා හිටපු හින්දා මං මූණ කට සෝදලා තේ ටිකක් බීලා කාමරේට ගියෙ ලෑස්ති වෙන්න හිතාගෙන.
විනීතා නැන්දගෙ දුවලා දෙන්නා මට සාරිය ඇඳගන්න වගේම කෑම බීම ටික පිළියෙල කරගන්නත් අම්මට උදව්වුණා..
පිරිමි පුළුටක් නැති අපේ ගෙදර ඕනෑම වෙලාවකදි උදව්වකට හිටියෙ විනීතා නැන්දයි එයාගෙ දුවලා දෙන්නයි..
ඔරලෝසුවෙ දහයෙ කණිසම සනිටුහන් වෙද්දි ටොයොටා ඇක්සියෝ මාදිලියේ කාර් එකකින් මාව බලන්න එන මනමාලයා දෙමව්පියන් පෙරටු කරගෙන අපේ නිවසට ළඟවුණා..
නම අහලා තිබුණට මං එයාව දකින පළමු දවස අද..
එයාලා එනකොටත් මං කණ්ණාඩි මේසෙ ඉස්සරහ වාඩිවෙලා හැඩවෙනවා..
ඔයාව අමතක කරලා එයාගෙ ඉස්සරහට යන්න හිත දුන්නෙ නැතත්..අම්මගෙ ඇස් වලට තවත් කඳුළු දෙන්න බැරි හින්දා හිත හදාගන්න මං තීරණය කලා..
වටේට කළු පාට අලංකාර බෝඩරයකින් හැඩවුණු අම්මා ගෙනත් දුන්න ලා නිල් පාට ලස්සන සාරියකින් මං හැඩවුණා..
අම්මා දුන්නු බුලත් තට්ටුව අරගෙන එයා ඉස්සරහට යනකොට මගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන්න වගේ ගැහෙන්න වුණා..
අම්මලා කෑම මේසෙ සූදානම් කරන අතරෙ මං හේශාන් එක්ක කතා බහ කලා..
ඔයා තරම්ම කඩවසම් නොවුණත් තළෙළු සමකට උරුමකම් කිවූ හේශාන් ප්‍රියමනාප තරුණයෙක්..
එයත් මං වගේම පළමු පෙම අහිමිවීමේ අමිහිරි අත්දැකීමට මුහුණ දුන් කෙනෙක්.
කතාබහේදි අඳුනගත්තු විදියට එයා ජීවිතේ ගැන හරිම සැහැල්ලුවෙන් හිතන ස්වෝත්සාහයෙන් නැගිටින්න වෙර දරන ගුරුවරයෙක්..
සතියකට පස්සෙ හේශාන්ගෙ අම්මලා මගෙත් හේශාන්ගෙත් කේන්දර ගලපලා අපේ විවාහයට දින නියම කරගන්න බව දන්නලා එව්වාම මටත් වැඩිය සතුටු වුණේ මගෙ අම්මා..
මට ඔයාව අමතක කරන්න පුළුවන් කමක් තිබුණෙ නැති හින්දාම එයත් මමත් මුණගැහුණු දිනයක ඔයා ගැන අකුරක් නෑර එයාට සියලු විස්තර කියන්න මං පසුබට වුණේ නෑ.
බලාපොරොත්තු වුණේ ඇණුම් බැණුම් වුණත් එයා පොරොන්දු වුණා මගෙ මතකෙන් ඔයාව සම්පූර්ණයෙන්ම අතුගාලා දානවා කියලා..
හේශාන්ගෙ යාළුවෙක් වුණ මහිරුගෙ අම්මා නැති වෙලා අවුරුද්දක් පිරීම නිසා එයාලා අනුරාධපුර පැත්තෙ සෙනසුනකට දන් පිළිගන්වන්න ලහි ලහියෙ සූදානම් වුණා..
ඒ අවස්ථාවට එයා මටත් සහභාගි වෙන්න කියලා කිව් නිසාම සුදු පාට චාම් සාරියකින් සැරසිලා එදා උදේම මං හේශාන් එක්ක එයාගෙ කා එකේ අදාල සෙනසුනට ගියා.
දන් පිළිගන්වන්න තවත් බොහෝ වෙලා තියෙන හින්දා හේශාන් මාව පන්සලට එක්කගෙන ගියා...
තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදු කුටිය ඇතුළෙ භාවනා කරමින් උන් නිසා අපි උන් වහන්සේට බාධා නොවෙන විදිහට වත්තෙ ගහෙන් කඩාගත්තු කහ අරලිය මල් බුදුන් වහන්සේට පූජා කරලා පහන් පත්තු කලා.
පන්සල ඇතුළත හරිම අපූරුයි..
මොකක්දෝ හේතුවකට මට මතක් වුණේ ඔයාව..
මාව දාලා යන්න හේතුවක් නැතිකොට අපි දෙන්නගෙ ආගම් වල වෙනස අල්ලගෙන ඔයා මට බැණවැදුණු හැටි බෝධීන් වහන්සේ අභියසට ගියාම මට මතක් වුණා..
ඒ වෙලාවෙත් සිහින් පොදයක් ඇදහැළුණා..
හේශාන් මට ගිතෙල් පහනක් පත්තු කරලා දුන්නා බුදුන් වහන්සේ ඉදිරියේ රඳවන්න..
මං ඉදිරියට එක අඩියයි තිබ්බෙ..
ඒ එක්කම බුද්ධ මන්දිරය ඇතුළෙ භාවනා කරමින් උන් තරුණ හිමි නම නැගිට්ටා..
අතේ තිබුණු ගිතෙල් පහන බිමට වැටෙනවත් එක්කම එහි තිබූ රත් වූ තෙල් මගෙ අත්ලට වැටිලා පිළිස්සුණත් මට ඒ වේදනාව දැනුනෙ නෑ..
දෙවියනේ....
කොහොම නම් විශ්වාස කරන්නද මේ ඉන්නෙ ඔයා කියලා..
අවුරුදු කිහිපයකට පෙර මාව පරිස්සම් කරපු, පණ වගේ ආදරේ කරපු මගෙ රුසිරු අයියා..
බුද්ධාගමට බැණපු, අගෞරව කරපු, කතෝලික කෙනෙක් වුණ රුසිරු අයියා...පඬු පාට කසාවතකින් සැරසිලා මගෙ ඇස් ඉස්සරහ හිටගෙන හිටියා.
කතා කරන්න හැදුවත් උගුරෙ කෙල ගුලියක් හිරවෙලා වගේ...වචන පිටවෙන්නෙ නෑ..
" සෙහාරා......."
ඔයා...
නෑහ්...ඔයා කියන්න අයිතියක් මට දැන් නෑ...
මට පව් පිරෙයි..
ඔබ වහන්සෙ....ඔබ වහන්සෙ මාව අඳුනගත්තා...
පන්සලේ උද්‍යානයෙ තිබූ සුවිශාල ලොවි ගහ යටට ඔබ වහන්සේ හිමින් සැරේ වැඩම කළා..
ඒ පස්සෙන් හේශානුත් මමත් වැටුණා..
_____________________________________
ඒ කාලෙ උන්නු මගෙ රුසිරු අයියා...
උසස් පෙළ විභාගය අවසන් කලත් ක්‍රිශාලා එක්ක තිබුණු සම්බන්ධය අවසන් නොකර දිගටම පවත්වගෙන යනවා..
අවුරුද්දකින් විතර එයාගෙ අම්මා හෘදයබාධයකින් මෙලොව හැරගියා..
රුසිරු අයියට වෙන ආදායමක් තිබිලා නැති වුණත් එයා අම්මා නැතිවුණ දුකට කැසිනො ගහන්න පුරුදු වුණා..
දවසින් දවස මුදල් අඩුපාඩුකම් දැනෙන්න පටන් ගන්නකොට මාළිගාවක් වගේ තිබුණු එයාගෙ ගේ, ඉඩම එක්කම උකස් කරලා කැසිනො ගහන්න එයා පුරුදුවුණා..
අතේ මිටේ මිලමුදල් යාන වාහන තිබුණු එයාට කැසිනෝ හින්දා ඇඳිවත විතරක් ඉතිරි වෙද්දි පණට පණ දෙන්න උන්නු ක්‍රිශාලා එයාව දාලා ගිහින් සල්ලිකාර පවුලක කොල්ලෙක් එක්ක විවාහ වෙනවා..
එතැන් පටන් රුසිරුගෙ ජීවිතේ අගාධයකට වැටුණා..
අරක්කු, වොඩ්කා,විස්කි වලට අමතරව මත් කුඩු ,හෆීස්, බාබුල් වගේ මත් ද්‍රව්‍ය විතරක් එයාගෙ පාළුව මකන්න ඉතිරි වෙනවා..
අවුරුද්දක් යන්න කලින් මත් කුඩු පැකට් හතරක් එක්ක එයාව පොලිසියට කොටු වෙනවා..
_______________________________
" ඊට පස්සෙ මාව පුනරුත්ථාපන කඳවුරකට යොමුකෙරුණා..
එතනදි තමයි මං භාවනා කරන්න මුලින්ම ඉගෙන ගත්තෙ..
හිතේ තියෙන ප්‍රශ්න සේරම අමතක වෙලා හිත නිවෙන දෙයක් ඒක...
ඒ විදිහට මං භාවනාව අවුරුදු දෙකක් පුරුදු පුහුණු කලා..
ගිය අවුරුද්දෙ වෙසක් පෝය දවසෙ ජනාධිපති සමාව ලැබිලා නිදහස්වුණු හිරකාරයො අතලොස්සට මාවත් එකතුවුණා..
උන් වහන්සේ කතාව මඳකට නතර කරලා දීර්ග සුසුමක් පිටකලේ අතීතය සිහිකිරීම නිසා වෙන්නැතියි මට හිතුණා..
" නිදහස්වුණත් මට යන්න එන්න තැනක් තිබුණෙ නෑ..
ඒ වෙනකොට ගෙදර උකසට සින්න වෙලා...
කන්න නැතුව බඩගින්නෙ පාරෙ ඇවිද ඇවිද ඉන්නකොට එකපාරටම මට කලන්තයක් ඇල්ලුවා...
සිහිය එනකොට මං හිටියෙ මේ පන්සලේ..
ගමේ මිනිස්සු ටිකක් මං වැටිලා ඉන්නවා දැකලා පන්සලට උස්සගෙන ඇවිත්..
ලොකු හාමුදුරුවන්ට විස්තර කිව්වට පස්සෙ උන් වහන්සෙ මාව මහණ කෙරෙව්වා.."
දීර්ඝ කතා බහකින් අනතුරුව අපි දෙන්නා උන් වහන්සේට සමුදීලා දන් පිළිගන්වන දානශාලාවට පැමිණියා..
කිණිහිරියා මල් ගොමුවක් වගේ කසාවතින් සැරසිලා සන්සුන් ගමනින් දාන ශාලාවට වඩින ස්වාමීන් වහන්සෙලා අතරෙ උන්වහන්සෙත් ඉන්නවා..
හිත දමනය කරගන්න වෙහෙසුණා මං..
පැය දෙක හමාරකට විතර පස්සෙ දානෙ වැඩකටයුතු අවසාන කරලා අපි ආපහු එන්න ලෑස්ති වුණා..
" හාමුදුරුවනේ....අපි යන්න කියලා....."
" බොහොම හොඳයි...
මං හැම සති අන්තෙකම භාවනා වැඩසටහනක් පවත්වනවා මේ පන්සලේ.......කැමති නම් ඔබතුමාලටත් ඉඩ තියෙන වෙලාවක සහභාගි වෙන්න පුළුවන්.."
" එහෙමයි හාමුදුරුවනේ.....'
" කෙලෙස් පිරිච්ච මේ සංසාරෙන් එතෙර වෙන්න භාවනාව කියන්නෙ දිව්‍යමය යාත්‍රාවක් වගෙයි මහත්තයෝ....."
හේශානුත් මමත් පසඟ පිහිටුවලා උන් වහන්සේට වන්දනා කළා..
" තෙරුවන් සරණයි....! "
උන් වහන්සෙ උන් වහන්සේගෙ කුටිය දිහාවට සන්සුන් ශාන්ත ගමනින් වඩිනවා..
රුසිරු ගජනායක වුණ මගෙ පුරාණ ප්‍රේමය..
අද විජයපුර සුබෝධ නමින් පැවිදි දිවියට ඇතුළත් වෙලා..
මට #අහිමි දේ ගැන නොහිතා..අද පටන් මටම #හිමි හේශාන්ගෙ අතින් මං අල්ලගත්තා..
කාර් එකට ගොඩවෙන්න කලියෙන් ආයෙත් වරක් උස් භූමියෙ පිහිටා තිබෙන පන්සල් බිම දිහා මං හැරිලා බැලුවා..
සුබෝධ ස්වාමීන් වහන්සේ ඈත කහ පාට තිතක් වෙලා සන්සුන් ගමනින් කුටියට වැඩම කරනවා.
හිත සැහැල්ලුයි...
කොහොමහරි හේශාන් මට වුණ පොරොන්දුත් ඉෂ්ඨ කළා...
ඒ වගේම ගොඩාක් සතුටුයි මට....පරක්කු වෙලා හරි උන් වහන්සේට සත්‍ය අවබෝධ වුණ එක ගැන..
අවසන් වතාවට පන්සල දිහා හැරිලා බලලා අත්දෙක එකතු කරලා ඇස් දෙක පියාන මං ප්‍රාර්ථනා කලේ...උන් වහන්සේට මේ භවයේදීම දීර්ඝ සංසාරය කෙලවර කරගැනීමට හැකිවේවා යන්නයි....
(මුහුණු පොතෙන් හමුවූ මිතුරියකගේ අත්දැකීමක් ඇසුරිනි..නම් ,ගම් මනඃකල්පිතයි.)
••••••• නිමි •••••••
පෙම්වතා / පෙම්වතිය තමන් හැරගියා කියා ජීවිතය නසා ගැනීම හෝ තම අනාගතය අඳුරු කරගැනීම මෙලොව ඇති අනුවණම ක්‍රියාවකි.
No comments:
Post a Comment